The Rafters Retreat Kithulgala

ගොඩක් කාලෙකට පස්සෙ විවේකයක් හොයාගෙන ඔන්න සටහනක් ලියන්නයි ලෑස්ති වෙන්නෙ. ඇත්තතම මේ සටහන් ලියන වැඩේ පටන් ගන්න හරිම කම්මැලියි. ලියාගෙන යනකොට හැබැයි තව ලියන්න හිතෙනවා. ඒකත් මරු වැඩක් තමයි..

කළින් සටහනෙන් අවුරුද්දකට විතර පස්සෙ තමයි මේ මම සටහනක් ලියන්නෙ. ඒක සෑහෙන්න දිග කාලයක්. ඒ කාලය ඇතුළත ජීවිතයේ වෙනස්කම් ගොඩක් සිද්ධවුණා. අලුත් රස්සාවකට හුරුවෙලා මහන්සි වෙලා වැඩකරගන යන්න වුණා වගේම මගේ විවාහ මංගල්යය සඳහාත් මහන්සි වෙන්න වුණා. ඒ නිසාද කොහෙද විවේකයක් ලැබුණෙ ගොඩක් කලාතුරකින්. ඒ කටයුතුත් ඉවර වෙලා දෙමව්පියන්ගේ ගෙදරින් මගේ සැමියාගේ ගෙදරට යන්න වුණාට පස්සෙ ඉතින් ජීවිතේ සෑහෙන්න වෙනස් වුණා. මුල්ම දවස් වල අපහු ගෙදර යනකම් ඉවසිල්ලක් නැති වුණත් ටික දවසක්
යනකොට එහෙ ටිකක් හුරු වුණා. කොහොමත් ඉතින් ඉන්නම එපැයි එහෙ. ඒත් වෙනත් ශාඛාවකට මාරුවීමක් ගන්නකම් ගෙදර ඉඳන් වැඩට යන්න වෙලා තියන නිසා ගෙදරින් ගිය එක එච්චරම අමාරු වුණේ නෑ. එක අතකට විවාහය කියන්නෙ අලුත් ඉපදීමක් කියන එක ඇත්තක් කියන එක දැන් තමා මට තේරෙන්නෙ. පරණ පුරුදු, සිරිත් විරිත්, පරිසරය, වටපිටාව, මිනිස්සු, හැමදෙයක්ම වෙනස් නිසා දැනෙන්නෙ හරිම අමුතු හැඟීමක්. ඒ අත්දැකීම ගැන වෙනත් සටහනකින් කියන්න මම බලාපොරොත්තු වෙනවා. කොහොම හරි ඉතින් ඕවා තමයි පහු ගිය කාලෙ සිද්ධ වුණේ. ඒත් අද කතාව ඒ ගැන නෙමේ.

මේ පෙබරවාරි මාසෙ ආවනෙ බැංකු නිවාඩු තොගයක්. ඉතින් අපි දෙන්නා ( මමයි මගේ සහකරුවායි – කතාව කියන්න ලේසි වෙන්න නිසා මම එයාගෙ නම ම කියන්නම් කණිෂ්ක කියලා ) හිතුවා ට්‍රිප් එකක් යන්න. අපිට තවම වාහනයක් නැති නිසා වාහන තියන යාලුවන්ගෙන් එහෙම අහලා බැලුවා එයාලත් එක්ක සෙට් වෙන්න. ඒත් ඒ වැඩේ හරි ගියෙ නෑ. ඒ නිසා අන්තිමට අපි දෙන්නා තීරණය කළා අපි දෙන්නා විතරක් හරි යමු කියලා. අන්තර්ජාලය පීර පීර නිවාඩු නිකේතන හෙවුවා දවස් දෙක තුනක්. ගොඩක් තැන්වල ඒ වෙනකොට බුක් වෙලා නිසා ඉඩ තියන තැනක්
හොයාගන්නත් සිද්ධවුණා. බස් එකේ යන්න පුළුවන් තැනක් වෙන්නත් එපායැ. අන්තිමේදි අපි තෝරගත්තා තැන් දෙකක්. එකක් හික්කඩුව, අනිත් එක කිතුල්ගල. හික්කඩුවෙ අව්ව වැඩි නිසා කිතුල්ගල යමු අපිට Rafting යන්නත් පුළුවන් කියලා අපි අන්තිමේදි කිතුල්ගල ගියා.

උදේ කෑම කාලා එහෙම පිටත් වෙලා දවල් කෑමට එහෙට යන්න පුළුවන් වුණා. අපිට නවතින්න තිබුණේ ලෑලි වලින් හදපු පොඩි ගෙවල් වල. එක එක විදියට හදපු ගෙවල් එතන තිබුණා. ඇතුල් වෙන්න තිබුණෙ එක දොරයි. ඒක ලොක් කරන්න පුළුවන්. නමුත් නාන කාමරයේ ගඟ පැත්තට වෙන්න තිබුණු කොටස ටිකක් විවෘතයි. ඒ වගේම නාන කාමරයේ ඉඳන් ඇතුළට එන්න තිබුණු දොරට තිබුණෙ බොහොම සරල
ලී ලොක් එකක්. ඒ නිසා එතනට ආපු මුල්ම මොහොතෙ මගෙ හිතට පොඩි අනාරක්ෂිත හැඟීමක් ඇති වුණා. ඒත් ඉතින් ඒ වගේ සංචාරක නිකේතනයක ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ කියලා හිතුණ නිසා අපි ඒ ගැන එච්චර තැකීමක් කළේ නෑ. අපි හවස කැළණි ගඟෙන් නාලා එහෙම එදා දවස විවේක අරන් පහුවදා Rafting යන්න ලෑස්ති වුණා. ඒත් එදා රෑ නින්ද ගියෙ බොහොම අඩුවෙන්.
අනාරක්ෂිත බව ගැන අමුතු හැඟීමක් ඒ වෙනකොට ඇතිවෙලා තිබුණ නිසාද කොහෙද අමුතු බයක් වගේ දෙයක් දැනුනා. කොහොම වෙතත් පහුවදා උදේ පෞද්ගලික ආයතනයක සේවක මණ්ඩලයක් ඇවිත් හිටිය නිසා එයාලත් එක්කම Rafting වැඩේට සෙට් වෙන්න අපිට පුළුවන් වුණා. ඇත්තම කිවුවොත් මම නම් බයේ හිටියේ. ගඟක නාන්නවත් පුරුදු නැති අපිට මොන Rafting ද කියලා හිතුණා.. 😛

යන්න කලින් නිවාඩු නිකේතනයේ කළමණාකරු අපිට කතා කරලා කිව්වා වටින දේවල් තියනවානම් කාර්යාලයට බාර දීලා යන්න කියලා. අපි එන්න වෙලා යන නිසා ඒක හොඳයි කියල හිතලා අපි දෙන්නාගේ ජංගම දුරකතන දෙක, ලැප්ටොප් එක, ඩිජිටල් කැමරා එක සහ මුදල් පසුම්බි (පර්ස්) දෙක අපි කාර්යාලයට බාර දුන්නා. වාහනේකින් ගඟ උඩ පැත්තට පාරෙන් කිලෝමීටර් 7ක් විතර ගිහින් එතනින් ගඟට බැහැලා ඔන්න
අපි හබල් ගගා ගඟේ යන්න පටන් ගත්තා. ගල් වල හිර වෙවී ආපහු හරවගෙන පල්ලෙහාට ලිස්සලා යනකොට මරු. මරු කිව්වට ඉතින් සෑහෙන්න බයත් හිතුණා. කිලෝමීටර් 7ක් විතර වුණු ගඟේ ගමන නම් අමුතුම අත්දැකීමක් වුණා අපි දෙන්නාටම. පැය 2.30ක් 3 ක් විතර ගියා ගඟේ මේ විදියට ආපහු නිවාඩු නිකේතනයට එන්න. ආපහු එනකොට හොඳටම මහන්සියි. කාර්යාලයට දුන්න බඩු ටිකත් අරන් අපි ආවා නවතින තැනට.

හවස ඔරුවෙන් ගඟෙන් එගොඩට යන්න ඕනා කියලා හිතාගෙන හිටියත් හවස ටිකක් වැස්ස නිසා ඒ වැඩේ බැරි වුණා. ඒ නිසා ඉතින් අපි අරන් ආපු කොරියානු චිත්රපටියක් බැලුවා. චිත්රපටියට ආසාව තිබුණත් බඩගිනි හැදුණ නිසා ඒක ඉවර වෙන්න කලින් නවත්තලා 8ට විතර අපි ගියා කෑම කන්න. පුරුදු විදියට බඩු ඔක්කොම තිබුණ තැන්වලම තියලා ජංගම දුරකතන දෙක අතට අරන් දොර වහන්න යනකොට
මට නිකමට හිතුණා මගේ බෑග් එක ඔහේ දාලා යන්නෙ නැතුව එකේ ඇඳුම් බෑග් එකේ දාලා යන්න. මම බෑග් එක වහලා ඒක ඇඳුම් බෑග් එක ඇතුළේ දාලා වහන්න හදනකොට “යමු යමු” කියපු නිසා මම ඇඳුම් බෑග් එක ඒ විදියටම ඇරලා තියලා ගියා.

හොඳට කාලා එහෙම පැය බාගෙකට විතර අපි ආපහු ආවා. ආපු ගමන් කණිෂ්ක නාන කාමරයට ගියා. මම ඇඳුම් අස්කරන්න පටන් ගත්තා පහුවදාට ගෙදර යන්න. එක ඇඳක් උඩ ලැප්ටොප් එක ඒ වෙනකොටත් වැඩ කරමින් තිබුණා අපි තියලා ගිය විදියටම. ඒ වගේම ඇඳ උඩ කැමරා එකත් තිබුණා. අස් කරපු ඇඳුම් ටික එකට දාන්න හදනකොට මට වෙනසක් තේරුණා. යනකොට මම ඇරලා ගිය ඇඳුම් බෑග් එකේ මම වහලා ඇතුළට දාලා ගිය මගේ බෑග් එක ඇරලා තිබුණා. මට ඒක දැකලා ටිකක් හිත ගැස්සුණා. ඒ එක්කම මම බෑග් එක ඇතුළ පරීක්ෂා කළා. එකපාරම මට තේරුණේ මගේ මුදල් පසුම්බිය එතන නැති බව. ඒ බෑග් එකෙයි ඇඳුම් බෑග් එකෙයි බඩු එළියට ඇදලා අරන් මම මුදල් පසුම්බිය හෙවුවා. මට හිතුණ එකම දේ කවුරු හරි ඒක අරන් තියෙනවා කියන එක නමෙයි. ඒක කොහෙද කියන එක. කවුරු හරි නොගත්තා නම් ඒක තියෙන්න ඕනානෙ. මම හෙවුවා හෙවුවා හැමතැනම හෙවුවා. අන්තිමට මම තීරණය කළා ඒක කවුරු හරි අරන්මයි කියලා.

ඒ වෙනකොට කණිෂ්කත් ආවා. මම කිව්වා, “මගේ පර්ස් එක නෑ” කියලා. එතකොට එයා කිව්ව මුල්ම දේ තමයි, “නාන කාමරයේ බිත්තියට අත තියලා ගියා දැක්කා” කියලා. අපි දෙන්නා හොඳටම බය වුණා. ඒත් නිකේතනයේ කළමණාකරුට දැනුම් දෙන්න කළින් ඇත්තටම පර්ස් එක නැතිවෙලා බව තහවුරු කරගන්න ඕනා නිසා අපි ආයෙත් හැම තැනම හෙවුවා. කොච්චර හෙවුවත් පර්ස් එක හම්බ වුණේ නෑ. අන්තිමේදි අපි තීරණය කළා කළමණාකරුට දැනුම් දෙන්න. ආපහු දොර වහලා දාලා ගිහින් වෙච්ච දේ ඔහුට කිව්වා. මුලින්ම ඔහු අපි කියපු දේ පිළිගත්තෙ නෑ. ඔහු කිව්වේ එහෙම දෙයක් වෙන්න කොහොමටට් විදියක් නැහැ කියලයි. ඔහු කිව්වා, ” ඒකනේ මම කිව්වේ වටින බඩු ළඟ තියාගන්න එපා කියලා. මම බෝඩ් ගහලත් ඇති කාමරේ” කියලා. නමුත් එහෙම දෙයක් ඔහු අපිව මුළින්ම හමුවුණ වෙලේ කිව්වේ නෑ. ඒත් ටික වෙලාවකින් ඔහු, ” හරි අපි ගිහින් බලමු” කියලා එතන වැඩ කරන තවත් දෙතුන් දෙනෙක් එක්ක අපිත් එක්ක ඇවිත් පරීක්ෂා කළා. ඒත් එයාලා කාමරයේ ඇතුළත සහ පාර පැත්ත පරීක්ෂා කළා මිසක් ගඟ පැත්ත පරීක්ෂා කළේ නෑ. ටික වෙලාවක් බලලා කතා කරලා එයාලා යන්න ගියා.

මම ගොඩක්ම දුක් වුණේ පර්ස් එකේ තිබුණ සල්ලි ගැන නෙමේ. ඒකෙ තිබුණ මගේ හැඳුනුම්පත සහ බැංකු කාඩ්පත් ගැනයි. මම ඒ බව කළමණාකරුටත් කිව්වා. ඒ වගේම මම හරි ආසා ඒ පර්ස් එක නැති වුණ එක ගැනනම් ලොකු දුකක් තිබුණා. එක අතකට ඒ පර්ස් එක නැති වුණේ කොහොමද කියලත් හිතුණා. මම කතෝලිකයෙක්. මගේ පර්ස් එකේ තිබුණා “පුදුම පදක්කම” නමින් අප හඳුන්වන පොඩි මෙඩල් එකක්. ඒකට
පුදුම පදක්කම කියන්නේ නිකම් නෙමෙයි. ඒක බොහොම පුදුම දේවල් කරලා තියන දෙයක්. ඒක ළඟ තියන කෙනෙකුට කිසිම අතුරු අන්තරාවක් වෙන්නේ නෑ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මගෙ හිතේ කොණක තිබුණා “මේක නැතිවෙන්න බෑ” කියන විශ්වාසයක්. අනිත් අතට හැබැයි සල්ලි නැති වුණ එකෙනුත් ලොකු පාඩුවක් වුණා. මොකද අපිට නිකේතනයට ගෙවන්න සල්ලි මදි බව තේරුණා ඒක නැති වුණ නිසා. කිතුල්ගල ගමේ ATM යන්ත්‍රයක් තියන බැංකුවක් නැති බව දැනගත්තම අපිට කරගන්න දෙයක් නැතිවුණා.

මොකද කරන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට මගේ හිතට අමුතු බයක් ඇති වුණා. අනාරක්ෂිට බව බොහොම තදින් අපි දෙන්නාගෙම හිතට දැනෙමින් තිබුණා. නාන කාමරය පැත්තේ දොර වහලා දාලා අපි දෙන්නාම අත්දෙකින් අල්ලාගෙන කල්පනා කර කර ඉන්නකොට එක පාරම නාන කාමරය පැත්තෙන් සද්දයක් ඇහුණා. හෘදය වස්තුව හෝ ගාලා ගැහෙන්න පටන් ගත්තා. මොකද ඒ සද්දෙ හරියටම කවුරු හරි නාන කාමරය ඇතුළට පැන්නා වගේ සද්දයක්. තත්පර කීපයක් හිටපු විදියටම ඉඳලා “දොර ඇරලා ලයිට් එක දාන්න” කියලා මම කනිෂ්කට කිව්වා. එයා දොර ළඟට යනවාත් එක්කම ආපහු කලින් ඇහුණාට වඩා ලොකු සද්දයක් ඇහුණා. ඒක හරියටම ඇතුළේ ඉඳලා කවුරුහරි කෙනෙක් ගඟ පැත්තට පනින සද්දේ. ඒත් එක්කම දොර ඇරලා ලයිට් එක දාලා කනිෂ්ක නාන කාමරයට ගිහින් කෑ ගහගෙන ආවා “පර්ස් එක තියනවා” කියලා. මම කොහෙද කියලා ඇහුවම ඔහු කිව්වා, “සින්ක් එක උඩ” කියලා. අපි දෙන්නාම හොඳටම බය වුණා. දෙන්නාවම ගැහෙනවා හොඳටම. එහෙමම දොර වහලා දාලා ඉක්මනට දුවලා ගිහින් කළමණාකරුට මේ බව කිව්වා. ඔහු ඒ වෙලාවෙ කිව්වා එහෙනම් කවුරුහරි හොරෙක්ම වෙන්න ඇති කියලා. පර්ස් එක ආපහු ලැබුණත් ඒකේ සල්ලි තිබුණෙ නෑ සියයේ කොළ කීපයක් ඇරෙන්න. ඇතුළේ තිබුණ දාහේ කොළ ඔක්කොම අරන්. ඒ මොහොතෙ අපිට තිබුනෙ ලොකු මානසික පීඩනයක්.

පර්ස් එක ආපහු ලැබුණ එකට මම දෙවියන්ට ස්තූති කළා. ඕනානම් හොරාට තිබුණානේ සල්ලි අරන් පර්ස් එක ගඟට වීසි කරන්න. ඒත් ඒක ආපහු මට ලැබුණේ ප්‍රාතිහාර්යකින් කියලා මට දැනුනා. ඒත් පර්ස් එක නැති වුණාට වඩා බයක් ආපහු හම්බුණාම දැණුනා. මොකද පර්ස් එක ගත්තේ අපි නැති වෙලාවෙයි. නමුත් ආපහු තිබ්බේ අපි ඇතුළේ ඉන්න වෙලාවෙයි. ආපහු එතනට ගිහින් රෑ එළි වෙනකම් ඉන්නෙ කොහොමද කියලා අපිට හිතාගන්නවත් බැරි වුණා. ඒක තේරිලාද කොහෙද කළමණාකරු අපිට ශාලාවට ළඟින්ම මුලින්ම තියන නවාතැන ලෑස්ති කරලා දුන්නා. අපි දෙන්නා කලින් නවාතැනට ගිහින් පුළුවන් ඉක්මනින් බඩු ටික අස්කරගෙන අළුත් තැනට ආවා.

එතන කළින් තරම් තැන ගඟ පැත්තට විවෘත නැති නිසාත් කෙනෙකුට ඇතුළට එන්න බැරි විදියට තිබුණ නිසාත් අපි එතන රැය ගෙවන්න හිතාගත්තා. නමුත් අපි දෙන්නාගෙන් එක්කෙනෙකුටවත් එදා නින්දක් ලැබුණේ නෑ. ලයිට් නිවන්න බය වුණ නිසා ලයිට් දාගෙන තමයි නිදාගත්තේ. ඇත්තම කිව්වොත් ඒ නිදිමත නැතිකම නිසා නෙමෙයි. නිදාගන්න බය වුණ නිසා. මාරුවෙන් මාරුවට යන්තම් ඇහැ පියවගත්තා මිසක් එදා රෑ එළිවෙනකම් අපි දෙන්නා නිදාගත්තේ නෑ. අපි කල්පනාකළා කළමණාකරු අපි හොරෙක් ආවා කියපු කතාව පිළිගන්න එච්චර අකමැති වුණේ ඇයි කියලා. ගඟ පැත්තෙන් නාන කාමරයට එන්න පුළුවන් කියලා කොච්චර කිව්වත් ඔහු පිළිගත්තෙ නෑ. අනිත් එක අපි කල්පනාකළේ එතන එච්චරම හොරකම් කරන්න බැරි නම්, ඇයි අපිට වටින බඩු ළඟ තියාගන්න එපා කිව්වේ කියලා. ඒ වගේ දෙයක් කළින් වෙලාම නෑ කියලා ඔහු කිව්වත් එහෙම දෙයක් නොවුණා නම් ඇයි අපිට එහෙම කිව්වේ කියන එක අපිට ප්‍රශ්නයක් වුණා. කොහොමහරි ටිකෙන් ටික වෙලාව බල බල ඇහෙන පොඩි සද්දවලට පවා හිත සැලෙමින් එළිවෙනකම් ඇඟිලි ගැන ගැන හිටපු අපිට උදෑසන අරුණාලෝකය විස්තරකරන්න බැරි තරම් සැනසිල්ලක් වුණා.

උදේ හත වෙනකොට ලෑස්ති වෙලා අපි ගියා කළමණාකරු හම්බවෙන්න. පුළුවන් තරම් ඉක්මනින් එතනින් යන්නයි අපිට ඕනා වුණේ. අපේ මුදල් ප්‍රශ්නය ඔහුට කිව්වාම ඔහු කිව්වා අපිට ගෙදර ගිහින් නිකේතනයේ නමට බැංකුවෙන් සල්ලි තැන්පත් කරන්න කියලා. ඒක නම් ඒ වෙලාවෙ අපිට ලොකු උදව්වක් වුණා. උදේ කෑම ගත්ත ගමන් අපි පිටත් වුණා. දවල් කෑමට ගෙදර ආවා. ගෙදර එන ගමනෙඩි අපි දෙන්නාම වැඩි කතාවක් කළේ නෑ. ගෙදර ඇවිත් වෙච්ච කිසිම දෙයක් ගැන නොකියන්න අපි තීරණය කළා. ගෙදර කට්ටිය ට්‍රිප් එක ගැන අහද්දි Rafting කරපු එක ගැන කිව්වා මිසක් වැඩි විස්තර කියන්න ගියෙ නෑ කට වරඩියි කියලා බයට. එදා අපි දෙන්නාම හිතාගත්තා ආයෙ දවසක තනියෙන් ගමනක් යනකොට නවාතැනේ
ආරක්ෂාව ගැන ගොඩක් බලන්න ඕනා කියලා. ඇතුලු වෙන දොර වැහුවම සම්පූර්ණයෙන් ආරක්ෂිතයි කියලා හැඟෙන තැනක ඇරෙන්න වෙන තැනකනම් නවතින්නේ නෑ කියලා අපි හිතාගත්තා.

ඔන්න ඉතින් එහෙම තමයි සිද්ධ වුණේ. මේ සටහන කියවන ඔයාලත් මම ඒ අන්තිමට කියපු දේ ගැන සැලකිළිමත් වෙනවානම් හොඳයි කියලා මට හිතෙනවා. එහෙනම් ඉතින් කියවන අය හොඳ නරක දැනුම් දෙන්න. තවත් සටහනකින් හමුවෙමු.

දහහත්වෙනි සටහන – ලාබ වෙච්ච ආදරේ..

විවේකයක් ලැබුණු සඳුදා හවස් වරුවෙ සටහනක් ලියන්නයි හදන්නෙ. කළින් සටහනට ප්‍රතිචාර දක්වපු කෙනාට ස්තූතියි කියන ගමන් අද සටහන පටන් ගන්නම්.

සටහනට ලැබෙන ප්‍රතිචාර ගැන කියනකොට නම් මම සතුටුදායක මට්ටමක නෑ. ඇත්තම කිව්වොත් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ නෙ. 😛 පේන විදියට නම් මගේ සටහන් කියවන්න කවුරුත් කැමති නෑ වගේ. පහුගිය සටහන්ට ප්‍රතිචාර දක්වලා තිබ්බේත් මම දන්න අඳුනන කෙනෙක්. එයත් ප්‍රතිචාර දක්වන්න ඇත්තෙ මම තරහවෙයි කියලා වෙන්න ඇති. තරහ වුණත් කමක් නෑ කියලාද කොහෙද එයා පහුගිය සටහනට කළින් සටහනට ප්‍රතිචාර දක්වලා තිබුණේ නෑ. ඒක නිසානෙ ඒ සටහනට එක ප්‍රතිචාරයක්වත් නොතිබුණේ.. 😛

සුපුරුදු විදියට සෙනසුරාදා හවස් වරුවෙ සටහනක් ලියන්න බැරිවුණේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන්න තිබුණ නිසායි. බලාපොරොත්තු කඩවීම් මැදින් මෙතෙක් ගලාගිය ජීවිතේ නිසා ඒ ගැන හිතේ වැඩි බලාපොරොත්තුවක් නොතිබුණත් මටත් පුදුම හිතෙන විදියට ඒ රැකියාව ලැබුණා. මගේ අවාසනාවන්ත කාලේ ඉවරයක් වෙලාදෝ කියලාත් මට හිතෙනවා. ඒත් ඉතින් දුක සැප නිති පෙරළෙන රෝදයක් වගෙයි කියනවානේ. මොන හේතුවක් නිසා හරි මට ලැබුණු රැකියාව නිසා ගොඩක් සතුටින් තමයි දැන් නම් මම ඉන්නේ. ඒ ගැන කියන්න සතුටුයි. 🙂

අද සටහන ලියන්න යනකොට මට මතක් වුණේ ළඟදි දවසක මට කියවන්න ලැබුණු ආදරය ගැන ලියවුණු බ්ලොග් සටහනක්. හාස්‍ය උපදවන විදියට ඒක ලියලා තිබුණත් ඒක කියවනකොට මට තේරුණේ එතන ලියලා තිබුණ කිසිම දෙයක් “ආදරය” කියන වචනයට අදාළ නෑ කියලායි. ඒ සටහනේ ආදරය නමින් ලියලා තිබුණේ දැන් කාලේ ආදරවන්තයන් අතර පවතින ඉලෙක්ට්‍රොනික් සම්බන්ධතාවය මිසක් ආදරය කියන හැඟීම නෙමෙයි. ඇත්තටම ඒ සටහනේ ලියලා තිබුණ දේවල් තමයි දැන් කාලේ ආදරවන්තයන් ආදරය කියලා හිතාගෙන ඉන්නේ. සරලවම කිව්වොත් මේකයි කතන්දරේ.

පිරිමි ළමයෙකුට ගෑණු ළමයෙක් ගැන අදහසක් ඇති වුණාම මුළින්ම කොහොම හරි එයාගේ ටෙලිෆෝන් නොම්මරේ හොයාගෙන ඊට පස්සේ sms ගහන්න පටන් අරන් ටික දවසක් ගියාට පස්සේ ආදරේ ප්‍රකාශ කරනවා. ගෑණු ළමයාත් කැමතියි කියලා කිව්වයි කියමුකො. ඔන්න ඉතින් ඊට පස්සෙ phone එකෙනුයි, අන්තර්ජාලයෙනුයි තමයි මේ දෙන්නා සම්බන්ධ වෙන්නේ. ඒ ඉලෙක්ට්‍රොනික් සම්බන්ධය පණිවිඩ හුවමාරුවෙන් ඔබ්බට ගිහින් දැන් ආදරවන්තයින්ගේ ජීවිත වලටත් බරපතල විදියට බලපාලා තියනවා. ඇත්තටම ඒක තමයි දැන් ආදරේ පදනම වෙලා තියෙන්නෙත්. Good morning, කෑවද, බිව්වාද, මොකද කරන්නේ, කොහෙද යන්නෙ, good night. ඕක තමයි ආදරවන්තයන්ගේ ජීවිතේ වෙලා තියෙන්නේ අද වෙනකොට.

තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ජීවත් වෙන්නේ phone එක ඇතුළේ වගේ තමයි දැන් කාලේ ආදරවන්තයන් හැසිරෙන්නේ. දෙන්නාට හම්බවෙලා කතාකරන්න වෙලාවක් නෑ. ඒකට ඕනාකමකුත් නෑ. ඒ තරමට ජීවිත සංකීර්ණ වෙලා. මොකද ඉතින් phone එක තියනවානේ ඕනා එකකට. phone එකෙන් කියන ආදරේ ඇත්තට තියනවද කියලාවත් බලාගන්න විවාහ වෙනකම් දෙන්නාගෙන් එක්කෙනෙකුටවත් ලැබෙන්නේ නෑ. සමහර විට phone එකෙන් පටන් ගත්ත ආදරේ ඒකෙන්ම ඉවරවෙලා යනවා. අන්තර්ජාලයේ ආදරෙත් එහෙමයි. ආදරෙත් ඉලෙක්ට්‍රොනික් වෙලා. ඒකත් ලාබෙට ලැබෙන බඩුවක් තරමට යාන්ත්‍රික වෙලා. නියම හැඟීමකින් ආදරේ කරන්න දැන් කාලේ ආදරවන්තයින්ට අමතක වෙලා. ඒ සම්බන්ඳයට ආදරේ කියනවාට වඩා ගැලපෙන්නේ ඉලෙක්ට්‍රොනික් ආදරය කියන වචනයයි. ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් ගැලපෙන වචනය “love” නෙමෙයි “e-love”. අර සින්දුවකුත් තියෙන්නෙ ලව් ලව් මලඉලව් කියලා. ඇත්තටම ඒක ඉලවුවක් වෙලා දැන් වෙනකොට. 😛

ඔන්න ඕකයි දැන් තත්ත්වේ. ඉස්සර වගේ ආදරේ කරන්න ආදරේ විඳින්න දැන් ආදරවන්තයින්ට වෙලා නෑ. තමන්ගේ ආදරේ දකින්න, හම්බවෙලා කතාකරන්න එයාලාට ඕනාකමක් නෑ. “කතාකළොත් මදැයි” කියලා හිතාගෙන උදේ ඉඳන් කාපු බීපු විස්තරයි ගමන් බිමන් වල විස්තරයි ඇඳුම් පැළඳුම් වල විස්තරයි වැඩපල වල විස්තරයි ආදරේ කියන වචනෙයි විතරක් කිය කිය phone එකේම ඉන්නවා මිසක් ආදරේ ගැන හැඟීමක් දැන් ගොඩක් දෙනෙකුට නෑ. වැඩි දුරක් නැති වුණත් මාසෙකට සැරයක් වත් තමන්ගෙ ආදරේ බලන්න යන්නවත් වෙලාවක් නෑ සමහර ආදරවන්තයන්ට. Sms, email මිසක් පස්සෙ කාලෙක ආදරෙන් සිහිකරන්න ලියුමක්, සුභපැතුම් පතක්, කවියක්, සටහනක් වගේ තමන්ගේ අත් අකුරෙන් ලියපු දෙයක් ආදරවන්තයාට හෝ ආදරවන්තියට තිළිණ කරන්න දැන්කාලේ ආදරවන්තයන්ට කිසිම ඕනේකමක් නෑ. උදේ දවල් රෑ phone එකෙන් ආදරෙයි ආදරෙයි කියන වචනෙ මතුරන්නෙ නැතුව ඒ වගේ මාධ්‍යකින් වත් හිතේ තියන හැඟීම් ප්‍රකාශකරන්න දැන් කාලේ ආදරවන්තයින්ට ඕනේකමක් නැති එක පෞද්ගලිකව මටනම් බොහොම කණගාටුවට කරුණක්.

අදහස් ප්‍රකාශ කිරීමේ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය නිසා අපේ ජීවිත පහසු වෙලා හැම දෙයක්ම අතේ දුරින් තියනවා වගේ හැඟෙන එක ඇත්ත. නමුත් ඒ දේවල් නිසා ස්වභාවයෙන් අපිට ලැබිලා තියෙන මානුෂික හැඟීම් යාන්ත්‍රික වෙමින් පවතිනවා කියලා මට හිතෙනවා. මේ කතාකරපු ආදරයක් ඒ වගේ දෙයක්. ඉස්සර ආදරවන්තිය හෝ ආදරවන්තයා හම්බවෙන්න දකින්න ක්‍රමයක් නැතුව දුක්විඳගෙන ආදරේ කරපු කාලේ ආදරේ කියන වචනෙට තිබුණ වටිනාකම දැන් ආදරේ කියන වචනෙට නැති වෙලා ගිහින්. ලේසියෙන් ලැබෙන ආදරේ, අතේ දුරින් phone එකේ තියන ආදරේ, ඉස්සර ආදරේ තරම් වටින්නෙ නෑ දැන් ඉන්න ගොඩ දෙනෙකුට. මොකද ඒකත් ලාබ බඩුවක් වෙලා. ලාබෙට ලැබෙනවා, ලාබෙට සම්බන්ධතාවය පවත්වාගෙන යන්න පුළුවන්, ලාබෙට අත අරින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. බොහොම සරලයි. සමහර අයට කිසිම හැඟීමක් ඇත්තෙත් නෑ. ඔහේ පටන්ගත්ත හින්දා කරගෙන යනවා, වැඩි වියදමක් යන්නෙත් නෑනේ. ගෙදර ඉන්ටර්නෙට් බිල ගෙවන්නයි, dual sim එකේ බිල ගෙවන්න හරි reload දාන්න හරි තමයි තියෙන්නේ. මොකද ඉතින් දුරකථන ජාලපහසුකම් දෙන ආයතනත් හදන්නේ ආදරේ විකුණගෙන කන්න නේ. ඉතින් වැඩේ තවත් ලේසියි.

ඇත්තටම මේ ගැන ලියනවා ඇරෙන්න ඒ ගැන දෙන්න විසඳුමක් නැති එක ගැන මම කණගාටු වෙනවා. මේ සටහන කියවන්න ලැබුණොත් ලියලා තියන දේවල් ගැන ඔයාලාගේ අදහස් ප්‍රකාශ කරයි කියලා මම හිතනවා. තවත් සටහනකින් හමුවෙමු. 🙂

දහසයවෙනි සටහන – මගේ විශේෂ දවස් තුන..

විවේකයක් ලැබුණු සෙනසුරාදා හවස් වරුවෙ සටහනක් ලියන්නයි හදන්නෙ. සෑහෙන කාලෙකින් සටහනක් ලියන්න බැරි වුණා. ඒ ගැන කණගාටුව පලකරන ගමන් අද සටහන පටන් ගන්නම්.

ඇත්තටම මාසෙකට විතර ආසන්න කාලෙකින් සටහනක් ලියන්න බැරි වුණේ මගේ කාර්යබහුල කම නිසා නම් නෙමෙයි. මගේම තියන කම්මැලි කම නිසායි. වෙලාව තිබුණා ඕනෑවටත් වැඩියෙන් ලියන්න ඕනෙකමක් තිබුණා නම්. තවත් හේතුවක් වුණේ කළින් සටහනට කිසිම ප්‍රතිචාරයක් නොලැබීමයි. ඒකෙන් කම්මැලිකම තවත් වැඩි වුණා. අවුරුද්දක් පුරාම බලාගෙන හිටපු නත්තලත් අළුත් අවුරුද්දත් වෙනදාට වඩා ඉක්මනින් දවස ගෙවිලා ඉවර වෙලා ගියා. අළුත් අවුරුද්දෙ ආසාවෙන් බලාගෙන හිටපු මගේ උපන්දිනයත් ඒ විදියටම ගෙවිලා ගියා හරි ඉක්මනින්. දැන් ඉතින් ආයෙත් නත්තල් එනකම් බලාගෙන ඉන්නෙ. 🙂

ඒ හැම විශේෂ දවසක්ම ලස්සන වෙන්නෙ ඇඳුම් පැළඳුම් වලින් වත් කෑමබීම වලින් වත් නෙමෙයි. අපේ සිතුම් පැතුම් වලින්. හැම විශේෂ දවසකම වටිනාකම තියෙන්නෙ එතනයි. කොච්චර කෑමබීම ඇඳුම් පැළඳුම් තිබුණත් වැඩක් නෑ ඒ දවසෙදි හිතේ සන්තෝසෙන් ඉන්න විදියක් නැති වුණොත්. මේ නත්තල් දවස නම් ඒ අතින් බොහොම සතුටින් ගෙවපු නත්තල් දවසක් වුණා. 24 වෙනිදා රෑ 12ට පල්ලියට ගිහින් දේවමෙහෙයට සහභාගි වෙලා සුපුරුදු පරිදි හැමෝම ආච්චිලාගේ ගෙදරට ආවා. ඒකනෙ ඉතින් අපේ Head office එක.. 😛

ආච්චි පුංචිලා බාප්පලා මාමා නැන්දා සහ මගේ ඥාති සහෝදර සහෝදරියෝ සියළු දෙනාම එහෙට ආවා. අඩුවට හිටියේ විදේශගත වෙලා හිටපු මගේ ඥාති සහෝදරයන් දෙන්නා විතරයි. ඒ ගැන කණගාටුවක් හිතුණත් එවෙලෙ ඒ දෙන්නාම දුරකථනයෙන් හැමෝටම කතාකරලා සුභ පැතුව නිසා ඒ අඩුවත් එච්චර දැනුනේ නෑ. අපි ඉතින් හැමදාම වගේ ආච්චිගෙන් පටන් අරන් එතන හිටපු හැම වැඩිහිටියෙකුටම වැඳලා ආච්චිගේ තේ පැන් සංග්‍රහයත් විඳින අතරේ යාළුවන්ට සුභපතලා ස්ම්ස් යැවුවා. ආච්චිලාගේ නත්තල් ගහ යට තිබිලා අපිට නත්තල් සීයාගේ තෑගිත් හම්බ වුණා. මේ පාර නත්තල් සීයා අපේ පොඩිම බාප්පා. 😛 ඉස්සර කාලේ ඉඳන් ඒ විදියට නත්තල් දවස පටන් ගන්න එක අපේ පවුලේ සම්ප්‍රදායක්. බොහොම සතුටින් ආපහු ගෙදර එනකොට ඉතින් පාන්දර 3ත් පහුවෙලා. ඊටපස්සේ තමයි නිදාගත්තේ.

ඒ විදියට පටන් ගත්ත නත්තල් දවස ගෙදර අය එක්ක බොහොම ලස්සනට ගෙවිලා ගියා. එකම කණගාටුව වුණේ මට සුභපතනකම් මම ආසාවෙන් බලාගෙන හිටපු කෙනෙකුට එදා මට සුභපතන්න මතක් වුණේ බොහොම රෑ වෙලා වීමයි. එයාට එදා දවස මාත් එක්ක සතුටින් ගතකරන්න වාසනාව නෑ කියලා මට හිතුණා. නත්තල් කාලෙට වැඩියෙන් උත්සව වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා නෑදෑයන්ගේ සහ යාළුවන්ගේ ගෙවල්වල පැවැත්වෙන නත්තල් සාද නිසා. අපේ ගෙදර සාදය යෙදිලා තිබුණේ 26 වෙනිදා නිසා නත්තල ඉවර වුණගමන් ඉතින් වැඩකරන්න වුණා හෝ ගාලා. 27 වෙනිදා වෙනකොට හොඳටම හෙම්බත්වෙලා හිටියේ.

31 වෙනිදාත් නත්තල්දා වගේම රෑ 12ට පල්ලියට ගිහින් දේවමෙහෙයට සහභාගි වෙලා ආච්චිලාගේ ගෙදරට ආවා. අළුත් අවුරුද්දක් ලබනකොට තමන් ආදරේ කරන තමන්ගේ පවුලේ අයත් එක්ක දේවාශිර්වාදය ලබාගන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද සතුටක්ද කියලා මට හිතෙනවා. අළුත් ආසාවන් අළුත් බලාපොරොත්තු එක්ක අළුත් අවුරුද්දට සාර්ථකව මුහුණදෙන්න ලොකු ශක්තියක් ඒ මඟින් ලැබෙනවා. එදා හැමෝම Happy new year කියලා සුභපතන කරන අතරේ අවුරුදු 3ක් වෙච්ච මගේ පොඩි ඥාති සහෝදරයා විදේශගතව සිටි එක ඥාති සහෝදරයෙකුට සුභ පැතුව විදිය නිසා හැමෝම හෝ ගාලා හිනා වුණා අළුත් අවුරුද්දේ. ඔහු දුරකථනය අතට ගත්ත ගමන් “ශාලිත අයියේ, Happy birthday” කියලා කිව්වාම අපිට හිනාව නවත්තගන්න බැරි වුණා. 😛

එදාත් නත්තල් දවස වගේම ලස්සනට දවස ගෙවිලා ගියා. ඊලඟට මගේ උපන්දිනය. මේ අවුරුද්දේ නම් සල්ලි නාස්තිකරලා උත්සව ගන්න ලෑස්තිවෙන්න එපා කියලා අම්මා කලින් ඉඳන් කියලා තිබ්බා. ඒත් ඉතින් මගේ හිතට හරි නෑ. පාන්දර ඉඳන් sms මඟින් සුභපැතුව අයට ස්තූති කර කර ඉඳලා උදේම පල්ලියේ දේවමෙහෙයට සහභාගි වෙලා දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද අරන් ඉටි පන්දම් පත්තු කරලා පූජාප්‍රසාදි තුමාගෙන් ආශිර්වාද කරගෙන එහෙම එදා දවස පටන් ගත්තා. ගෙදර එන අතරේ හදිසියේ උත්සවයක් ගන්න ඕනාමයි කියලා හිතිලා අවශ්‍ය බඩු අරගෙනම ආවා. මමයි නංගියි එකතු වෙලා කේක් හදලා අනිත් කෑම වර්ගත් හැදුවා. ඒ අතරේ යාළුවන්ටයි නෑදෑයන්ටයි ආරාධනා කළා දුරකථනයෙන්. අම්මා දවල් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවමයි දන්නේ හවසට උත්සවයක් තියෙනවා කියලා. එදා දවසෙ මට බනින්න හොඳ නැති නිසා අම්මා මුකුත් කිව්වේ නෑ. (හොඳ වෙලාවට.. :P) කොහොම හරි ඉතින් එදා උත්සවය බොහොම ලස්සනට ගියා. එදා දවස ගොඩක් සතුටින් ගෙවුණා.

ඒ ගැන ගොඩාක් සතුටුයි. ඔන්න ඉතින් ඒ තමයි මගේ විශේෂ දවස් තුනේ විස්තරේ. හැම අවුරුද්දකම මම බලාගෙන ඉන්නේ ඒ විශේෂ දවස් තුන එනකම්. විශේෂ දවසක් කියන්නේ අනිත් දවස් වලට වඩා සතුටින් ගෙවන්න ඕනේ දවස් නේ. එහෙනම් ඉතින් අද සටහන අවසන් කරන්නයි හදන්නෙ. කම්මැලි කම තිබුණේ නැත්තම් ලබන සතියේත් සටහනක් ලියන්න පුළුවන් වෙයි. තවත් සටහනකින් හමුවෙමු.  🙂

පහලොස්වෙනි සටහන – මගේ වීරයා..

වෙලාවක් ලැබුණු සෙනසුරාදා උදේ වරුවෙ සටහනක් ලියන්නයි ලෑස්තිවෙන්නෙ. කළින් සටහනට ප්රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි කියන ගමන් අද සටහන පටන් ගන්නම්.

ගිය සතියෙ සටහනක් ලියන්න අතපසු වීම ගැන කණගාටුව පලකරනවා. ඇත්තටම ඒක සිද්ධවුණේ මගේ තියන කම්මැලිකම නිසාමයි. වෙනදා වගේ නෙමෙයි සටහනක් ලියන්න ඕනාතරම් වෙලා තිබුණා ගිය සතියේ. ඒ වෙලාව වැඩිකම හින්දාද කොහෙද කම්මැලිකමට සටහනක් නොලියා නිකම් හිටියා. එහෙම තමයි ඉතින් මගේ වැඩ සමහර වෙලාවට.. 😛

මාස කීපයකට පස්සේ ආයෙත් ලොකු නිදහසක් ලැබිලා තියනවා. ඒකාකාරී බවින් මිදෙන්නත්, ටිකක් සතුටු වෙන්නත් එක්ක. ගෙදරට වෙලා ඉන්න එක තරම් සැපතක් තව කොහෙන්ද ඉතින්. නත්තලත් ළඟ ළඟම එන නිසා හිතේ තියෙන්නෙ ලොකු ආසාවක්, සැනසීමක් වගේ හැඟීමක්. ලබන සතියෙ පාසල් නිවාඩුව වෙනුවෙන් විකාශය කරන ළමා චිත්රපට පෙළ නැරඹීමේ ආසාවෙන් මම මේ ඉන්නෙ. පොඩි කාලේ ඉඳන්ම ළමා චිත්රපට, ටෙලිනාට්ය සහ කාටූන් වලට මගේ තියෙන්නෙ ලොකූ ආසාවක්. දැන් මගේ වයස අවුරුදු විසි පහක් වුණත් තාමත් පොඩි කාලේ ඒවාට තිබුණ ආසාව අඩු වෙලානෑ පොඩ්ඩක් වත් තවත් වැඩිවෙලා මිසක්. මගේ සමහර යාළුවො ඒ ගැන මට හිනා වෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. ඒ මගේ හැටි තමයි.

මම පොඩි කාලේ ඉඳන් කාටූන් බලන්න හරි ආසයි. ඒ කාලේ ගොඩක්ම කැමති ‘දොස්තර හොඳහිත’, ‘හා හා හරි හාවා’, ‘ ගලිවර්ගේ චාරිකා’ වගේ සිංහල හඬකවලා තිබුණ කාටූන් වලට තමයි. ඒ ඉතින් බොහොම පොඩි කාලේ. ඒ වගේම ඒ කාලේ විකාශය කෙරුණු, ‘රොබින් හුඩ්’ කතා මාලාවටත් ගොඩක් ආසයි. ඒ ආසාවනම් මේ ජීවිතේ කවදාහරි ඉවර වෙනකම්ම තියෙයි. මේ වෙනකොට මට මතක නැති තරම් වාර ගණනක් ඒ කතා මාලාව බලලා තිබුණත් දැනුත් මට හිතෙන්නෙ තව පාරක් බලන්න තිබුණානම් හොඳයි කියලා තමයි. ඇත්තටම ඒකට තියන ආසාව කවදාවත් පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ.

 ඒකට තියන ආසාව කොචරද කිව්වොත් තාමත් මගේ ලෝකයේ වීරයා වෙන්නෙ රොබින් හුඩ්. පස්සේ කාලෙක Smallville ටෙලිනාට්ය මාලාව හරහා මගේ හිත දිනාගත්ත වීරයා වන Clark Kent ටත් වඩා ඉහළින් තාමත් ඉන්නවා ඉස්සර ඉඳන් මගේ වීරයා වන රොබින් හුඩ්. ඒ වගේම රොබින් හුඩ් නමින් බොහෝ ටෙලි නාට්ය මාලාවන් හා චිත්රපට විකශය වී තිබුණත්, Robin of Sherwood කියන නමින් අපි පොඩි කාලේ විකාශය කරපු ටෙලිනාට්ය මාලාවේ හිටපු රොබින් හුඩ් තමයි මගේ වීරයා. ඒ චරිතය රඟපෑ Michael Praed නම් වූ නළුවාට මගේ ඇති ආදරය සහ ගෞරවය නම් කියලා නිම කරන්න බෑ. ඇත්තටම මගේ මුල්ම ආදරය තමයි රොබින් හුඩ්. පොඩි කාලේ ඉඳන් අද වෙනකම්ම ඒ චරිතයට සහ ඒ රූපයට මගේ තියන ආසාවයි ආදරයයි පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ. පොඩි කාලේ පුංචිලා, ‘ලොකු වුණාම බඳින්නෙ කාවද’ කියලා ඇහුවම මම කියන්නෙ ‘රොබින් හුඩ්ව’ කියලා ලු. 😛

කාටූන් වලින් මම කළින් කියපු පොඩිම කාලේ බලපු ඒවාට අමතරව පස්සේ කාලේ ගොඩක්ම ආසාකරන කාටූන් ගැන කිව්වොත් නම්, සූර පප්පා, කවුද බෝයි, ස්කූබි ඩූ තමයි. ඒ වගේම මේ දවස්වල මම ආසාවෙන් බලන කාටූන් තමයි, ස්කූබි ඩූ, බැට් මෑන්, ගිරිපුර ඇත්තෝ සහ ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් පෙළ. ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් මාලාවේත් ආසම කොටස තමයි, Droopy, Dripple & Mcwolf කාටූන් එක. ඒවා ගැන කියන කොට නම් ඒවායේ හඬකැවීම ගැනත් නොකියා ඉන්න බෑ. ඒ තරම් විශිෂ්ට විදියට ඒවා හඬකවලා තියනවා. වෙලාවකට ඒවායේ ඔරිජිනල් එක්ක බලනකොට ඒවාටත් හොඳින් හඬකවලා තියනවා සිංහලට බලන්න ආසා හිතෙන විදියට.

ලංකාවේ ළමයින් වෙනුවෙන් ලංකාවේදී කාටූන් කියලා දෙයක් නිර්මාණය නොවන නිසා ලෝක ප්සිද්ධ කාටූන් සිංහලෙන් හඬකවලා මේ විදියට විකාශනය කරන එක නම් ලොකු දෙයක්. ඇත්තටම කාටූන්, ළමා චිත්ර්පටි, ළමා ටෙලිනාට්ය නිර්මාණය අතින් ලංකාව පවතින්නෙ බින්දුවට බොහොම ආසන්න අගයක වීම කණගාටුවට කරුණක්. නමුත් අන්තර්ජාලය හරහා සහ රූපවාහිනී නාලිකා හරහා අපේ ළමයින්ටත් යුරෝපයේ විශිෂ්ට ළමා නිර්මාණ රසවිඳීමට ලැබීමත් භාග්යයක්. ඒ රටවල නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ළමයින්ට කොච්චර අගයක් දීලා තියනවාද කියන එක ප්රලශංසාවට කරුණක්. මොන මාර්ගයෙන් හරි අද වෙනකොට ළමයින් සඳහ වූ නිර්මාණ බොහොමයක් රසවිඳින්න අවස්ථාව අපිට ලැබිලා තියන එක කොච්චර දෙයක්ද කියලා ඒවාට ගොඩක් ආසා කරන මට හිතෙනවා.

මගේ පුංචිලා එහෙම කියනවා කවදාහරි නැන්දම්මාගෙන් හොඳට බැනුම් අහන්න වෙයි විවාහ වුණාට පස්සෙත් කාටූන් බලන්න ගියොත් කියලා. අපේ අම්මායි ආච්චියි නම් කියන්නෙ, “කමක් නෑ ළමයගෙ ආසාවනේ” කියලා. කොහොම වුණත් ඉතින් මට නම් හිතෙන්නෙ මම කොච්චර වයසට ගියත් කාටූන් වලටයි ළමා චිත්රපට වලටයි තියන ආසාව කවදාවත් නැතිවෙන එකක් නෑ කියලායි. කවදාහරි මම මගේ ළමයි එක්ක විතරක් නෙමෙයි මගේ මුනුබුරු මිනිබිරියන් එක්කත් කාටූන් බලයි. 😛

අපි කොච්චර ලොකු වුණත් ළමාකාලයේදී අපේ සිත් ගත්ත සමහර දේවල් තාමත් අපේ හිතේ තියනවා කියලා මට හිතෙනවා. ඒවාට සමහරවිට අපි නාකි වෙලා මැරෙන මොහොත වෙනකම් ආදරේ කරයි. එහෙම තමයි ඉතින් ජීවිතේ හැටි. ඒ හැටිය ගැනනම් කවදා තේරුම් අරන් ඉවර කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. දවසින් දවස අළුත් දේවල් ඉගෙන ගනිමින් අළුත් අත්දැකීම් ලබමින් ඉදිරියට යන මේ ජීවිතේ කවදාහරි අවසාන වෙනකම්ම ඒක තේරුම් ගන්න උත්සාහ කරමින් ඉඳියි අපි හැමෝම. එහෙනම් ඉතින් අද සටහන මෙතනින් නිමා කරනවා. තවත් දවසක හමුවෙමු. 🙂

දහහතරවෙනි සටහන – බල්ලාගේ කතාව..

පොඩි නිවාඩුවක් ලැබුණු සෙනසුරාදා හවස් වරුවෙ අළුත් සටහනක් ලියන්නයි මේ ලෑස්ති වෙන්නෙ. පහුගිය සටහනට කවුරුත් ප්‍රතිචාර දක්වලා තිබුණේ නැතිනිසා වෙනදා වගේ ස්තූති කරන්න කියලා කෙනෙක් නෑ. ඒ නිසා ස්තූතියක් නැතුවම මේ සටහන පටන්ගන්නම්. 🙂

වෙනදා කියනවා වගේම සුපුරුදු විදියට මගේ පහුගිය සතිය ගැන කියලා ඉන්නම්. පහුගිය සතිය ගෙවුණෙ උදාසීන විදියට. කියන්න තරම් විශේෂ කිසිම දෙයක් සිදුවුණේ නෑ. ඒ නිසා ඒ ගැන වැඩි විස්තර කියන්න දෙයක් නෑ. අද සටහන පටන් ගත්තෙ පහුගිය ටිකේ වගේ මොනාද ලියන්නෙ කියලා අරමුණක් නැතුව නෙමෙයි. සෑහෙන දවසක ඉඳලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක් ලියන්න හිතාගෙනයි. මේකත් පොඩි කතාවක්. එහෙනම් ඉතින් ඔන්න පටන් ගන්නවා කතාව. 🙂

සුරතල් සතුන් ඇති කිරීම කියන්නෙ මට හුරුපුරුදු දෙයක් නෙමෙයි. දකිද්දි ලස්සන වුණාට උන්ව අල්ලන්න ළඟට ගන්න එහෙම මම අකමැතියි. බල්ලෝ කියන්නෙත් මම ඒ වගේම අකමැති සත්තු ජාතියක්. ගෑණු බල්ලාගේ කතාව කියපු සටහනේ මම මේ ගැන කියලා තියනවා කලිනුත්. ඒත් ඉතින් මේක ඒ සම්බන්ධ කතාවක් නිසා ආයෙත් මතක් කළා.

ඔන්න ඉතින් පහුගිය මාසේ ඉරිදා දවසක මම කෑම කාලා ඉතුරු කෑම එළියට දාන්න හදනකොට එතනට පොඩි බල්ලෙක් ආවා. ඌ කොහෙන් ආවාද කියලා හිතාගන්න බැරුව මම ඌව එළවන්න හැදුවා. ඒත් ඌ ගියේ නැතුව මම දාපු කෑම කෑවා. බඩගින්නෙ කොහෙන්හරි ආපු එකෙක් වෙන්න ඇති කියලා මම හිතුවා. ඒක ඉතින් මටත් අමතක වෙලා ඊට පස්සෙ සතියෙත් මම දැක්කා ඌ ඇවිල්ලා ඉන්නවා කෑම කන්න. මම ඒක අම්මාට කිව්වාම අම්මා කිව්වා ඌ ගිය සතියෙ ඉදන් කෑම වෙලාවට මෙහෙට එන්නෙ කාගෙ බල්ලෙක්ද දන්නෙ නෑ කියලා. ඒ විදියට ඉතින් ඌ සති තුනක් විතර එක දිගට දවල්ටයි රෑටයි අපේ ගෙදර එන්න ගත්තා. අපේ නංගීත් ඌ එනකම් බලාගෙන හිටියා ඌ කනවා බලන්න හැමදාම. ඌ හැන්දෑවට අපි ගෙදර එනකොට අපිත් එක්කම ගේට්ටුවෙන් ඇතුළට ඇවිත් සෙල්ලම් කරලා රෑට කාලා එහෙම උදේට අපි ගෙදරින් යනකොට යන්න පුරුදු වුණා මාසයක් විතර යද්දි.

ඒ වෙනකොට ඌ අපිටත් අපි ඌටත් සෑහෙන්න ළං වුණා. කවදාවත් සුරතල් සතෙක් ඇති නොකරපු අපේ ගෙදර අයත් මමත් ඌ එනකම් බලාගෙන හිටියා හැමදාම. නංගී තමයි ගොඩක්ම ඌට ආදරේ. ඌත් එහෙමයි. එච්චර දවසක් ඌ අපිත් එක්ක හිටියේ අයිතිකාරයෙක් නැති හින්දා කියලා අපි හිතුවේ. අපි ඌව හදාගන්න ගමු කියලා නංගීත් කිව්වා. පස්සේ අපේ තාත්තා ගිහින් පශු වෛද්‍යවරයෙකුත් හම්බවෙලා සුරතල් සතුන් බලාගන්න තැනකටත් ගිහිල්ලා විස්තර හොයාගෙන ආවා දවසක්. එදා අපිටත් හරි ආසයි. ගොඩක්ම සතුටු වුණේ නංගියි. එදාත් ඉතින් සුපුරුදු විදියට ඌ ඇවිල්ලා සෙල්ලම් කරලා රෑට කාලා නිදාගෙන ඉඳලා එහෙම උදේ ගියා. අපි හවස ගෙදර එනකොට වෙනදා වගේ ඌ ගේට්ටුව ළඟ හිටියේ නෑ. පස්සේ අම්මයි නංගියි ඌව බලන්න ටිකක් දුර ගිහින් බැලුවා. එතකොට නංගීට උගේ සද්දේ ඇහිලා එයා බලනකොට ගෙදරක ඌව බැඳලා දාලා ඉඳලා. නංගී ඌව බලනවා දැකලා ඒ ගෙදර ඉන්න මනුස්සයා කියලා තියනවා ඌ ඒ ගෙදර අයට අයිති බල්ලෙක් කියලා.

ඒක අහලා නංගී ගෙදර ආවේ ගොඩක් දුකෙන්. අපි ඇහුවම මොකද කියලා එයා ඒ කතාව අපිට කියලා අඬන්න පටන් ගත්තා. “අනේ.. මට ඌව ඉල්ලලා දෙන්න..” කියලා නංගී හෝ ගාලා අඬනවා. ඒක නවත්තන්න අපි එක එක ඒවා කිව්වා. අපිටත් දුකයි. වෙන බල්ලෙක් අරන් දෙන්නම් කිව්වාම නංගි කියනවා, “මට ඕනේ මේ බල්ලාමයි.. වෙන බල්ලෝ එපා..” කියලා. අපි පස්සෙ හිතුවා කතාකරලා බලලා සල්ලි වලට හරි අරගන්න බලමු කියලා ඒ බල්ලාවම. ඒත් හරි ගියේ නෑ. ඒ ගෙදරත් පොඩි ළමයෙක් ඉන්න නිසා එහෙම දෙන්න බෑ කියලා එයාලා කිව්වා. ඌ අපේ ගෙදර ඇවිත් තියෙන්නේ ඒ ගෙදර අය පිට ගිහින් ඉඳලා තියන සති දෙක තුනේ කියලා අපිට තේරුණා. පස්සේ ඉතින් දවස් දෙක තුනක් ගියා. නංගිගේ ඇඬිල්ලත් නතර වුණා. ඒත් හැමවෙලේම බල්ලා ගැන කියවන එක නම් නතර වුණේ නෑ. බල්ලා ආවෙත් නෑ. “ඌව බැඳලා ඇති. ඒකයි ඌ මාව බලන්න ආවේ නැත්තේ ” කියලා නංගී කිව්වා. කොහොම හරි එදා රෑ මම නිදාගෙන ඉන්නකොට නංගී මට කතා කරලා කිව්වා, ” අක්කේ.. එන්න.. බල්ලා ඇවිත්..” කියලා. මම යනකොට ඌ ඇවිල්ලා අඬනවා. බඩගින්නේ වගේ. එවෙලේ රෑ 10.30ට විතර ඇති. කෑමත් ඉවරයි. ඌට කන්න දෙන්න දේකුත් නෑ. බත් විතරයි තිබුණේ. පස්සේ අම්මා ශීතකරණයේ තිබුණ මාළු අරන් බැදලා බතුත් එක්ක ඌට කන්න දුන්නා. ඌ හරි ආසාවෙන් ඒක කෑවා. අපිටත් සතුටුයි. ඌ නැතුව අපි හැමෝම පාළුවෙන් හිටියා කියලා එවෙලේ අපිට තේරුණා. එදා රෑ ඌ වෙනදා වගේ නිදාගෙන උදේ අපි යනකොට ගියා. එදා ඌ අපේ ගෙදර ආවේ ඌව බැඳලා තිබුණ බැමි ලිහපු ගමන් කියන එක අපිට තේරුණා.

ඊට පස්සෙ හැම දවසකම ඌ ආවේ රෑ වෙලායි. ඒත් ටික දවසක් යනකොට අපිට තේරුණා බල්ලා නිසා ඒ ගෙදර අය අපිත් එක්ක හිත හොඳ නැති බව. බල්ලෙක් නිසා මිනිස්සු එක්ක ප්‍රශ්න ඇති කරගන්න එක සුදුසු නැති නිසා නංගීට හොරෙන් අපි බල්ලාව අපේ ගෙදර එන එක වළක්වන්න අපි ගෙදර එනකොට ඌට එන්න දෙන්නෙ නැතුව දවස් කීපයක් ගේට්ටුව වැහුවා. අපි හිතුවේ ඌ ආපහු යයි කියලායි. ඒත් දවසක් රෑ ගෙදරට කට්ටියක් ඇවිත් එයාලාව ඇරලවන්න ගේට්ටුව අරිනකොට ඌ ගේට්ටුව ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. මටයි අම්මාටයි ගොඩක් දුක හිතුණා. බල්ලා නිසා කවදාවත් නැතුව මගේ ඇහැට කඳුලු ඉනුවේ එදායි. ඒදාට පස්සේ අම්මායි මමයි හිතා ගත්තා අපේ දේවල් නිසා ඒ අසරණ බල්ලාට බඩගින්නේ ඉන්න තියන්න බෑ කියලා. තමන් ඉන්න ආසා කරන තැන ඉන්න විදියක් නැතුව අවස්ථාවක් ලැබුණ ගමන් එතනට දුවගෙන එන ඒ බල්ලාට අපේ ආදරය තවත් වැඩි වුණා. දැන් ඌට ඕනා වෙලාවක අපේ ගෙදර එන්නත් යන්නත් ඉඩ දීලා තියනවා. කෑම ලෑස්ති කරලා ඌ එනකම් අපේ ගෙදර අය බලාගෙන ඉන්නවා. සමහර දවස් වලට ඌට එන්න බැරි වෙනවා. ඒත් ඌ ඉඳලා හිටලා හරි ඇවිල්ලා යන එකෙන් නංගීත් අපිත් ඌත් සතුටු වෙන නිසා මේ යන විදියටම යන්න ඇරලා ඉන්න එක හොඳයි කියලායි මට නම් හිතෙන්නෙ.

මිනිස්සු වෙලා අපිටවත් අපි කැමති දේ කරන්න අපි කැමති තැනක ඉන්න තියන නිදහස සීමා වෙලා තියනකොට බල්ලෙක් වෙච්ච ඌ කොහොම ඒ නිදහස විඳින්නද කියලා මට හිතෙනවා. මේ සටහන ලිව්වේ ඌ වෙනුවෙන්. අපෙන් කාලා අපිටම වින කරන මිනිස්සු ඉන්න මේ සමාජයේ ඌ වගේ කාපු තැනට ආදරේ කරන කළගුණ සලකන අය කොච්චර අඩුද කියලා තමයි කියන්න වෙන්නේ.

අපේ කළගුණ සැලකීම තියෙන්නේ කොතනද කියන එක ගැන හිතලා බලන්න කියලා අපිට මතක් කරන මේ කතාවේ අවසානයත් එක්ක අද සටහන ඉවර කරන්නයි හදන්නේ දැන්. අද සටහන සෑහෙන්න දිගත් වැඩියි. තවත් සටහනකින් හමුවෙමු.. 🙂

දහතුන්වෙනි සටහන – හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා..

පොඩි වෙලාවක් ලැබුණු සෙනසුරාදා හවස් වරුවෙ පුරුදු විදියට සටහනක් ලියන්නයි ලෑස්ති වෙන්නෙ. පහුගිය සතියෙ සටහනට ප්‍රතිචාර දක්වපු අයට ස්තූති කරන ගමන් අද සටහන පටන් ගන්නම්.

මේ සතියත් ගෙවුණෙ බොහොම කල්පනාවෙන්. කාර්යාලයේ තත්ත්වය එන්න එන්නම නරක් වෙනවාදෝ කියලාත් මට හිතෙනවා. කොහොම වුණත් අළුතෙන් පටන් ගත්ත මේ රස්සාව නම් මට හරි යන එකක් නෙමෙයි කියන එකයි මගේ අදහස. ඒ නිසා මේ ටිකේම අන්තර්ජාලය හරහා වෙනත් තැනකට යන්න උත්සාහ කරන ගමන් ඉන්නවා. දෙවියෝ මං වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නෙ කොතනද හරියටම කියලා මම දන්නේ නැති නිසා උත්සාහ කරලා බලන එක තමයි මට කරන්න පුළුවන්. ලැබීම හෝ නොලැබීම කෙසේ වෙතත් උත්සාහයනෙ වැදගත්. ඒවාට කරදර වුණා කියලා ඉතින් ඒවා මගේ කැමැත්තට සිද්ද වෙන දෙයක්යැ. මගෙන් වෙන්න තියන දේ කරලා දෙවියන්ගේ කොටස සිද්ද වෙනකම් ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ ඉතින්. හැමදේටම වෙලාවක් කියලා එකක් තියනවා කියනවානේ.

පහුගිය ටිකේ තිබුණු උදාසීන බව නැති වෙන්නද කොහෙද පහුගිය සතියෙ අසනීප වුණා. දැන් නම් හිතටත් ගතටත් සනීපයක් දැනෙනවා පොඩි උද්යෝගයකුත් එක්ක. කළින් සටහනේදි හෙට දවස ගැන කියපු අවිනිශ්චිත බව එදා ලොකු බලාපොරොත්තු කඩවීමක් දක්වා දරුණු අතට හැරුණා. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හෙට දවස ගැන ප්‍රසන්න හැඟීමකින් බලාපොරොත්තු ඇතුව කතා කරන්න පුළුවන් වෙලා තියනවා. ඒ ගැන සතුටුයි. ජීවිතේදි හැමදේම වෙනස් වෙන්න යන්නෙ සුළු මොහොතයි කියලා කියනවානේ. අද ලබන සතුට හෙට දුකක් වෙන්නත් හෙට ලබන දුක අනිද්දා වෙද්දි සතුටක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ තත්පරේදි හිතේ තියන සැනසීම ඊළඟ තත්ත්පරේදි නැති වෙලා යයිද කියලත් අපි කිසිම කෙනෙකුට සහතික කරලා කියන්න බෑ නේ. එහෙම තමයි ඉතින් හැමදේම. අද ඉන්න මනුස්සයා හෙට නැති වෙන්න පුළුවන්. අද කතාකරපු මනුස්සයා හෙට වෙනකොට මේ ලෝකෙන් සමුඅරගන්නත් පුළුවන්. අවිනිශ්චිතයි කියන්නේ ඒකයි ජීවිතේ ඉතින් කොච්චර වුණත්. හෙට කරනවා, ලබන සතියෙ කරනවා, ලබන අවුරුද්දෙ කරනවා කියලා කොච්චර සැලසුම් කරගෙන හිටියත් පැය ගානක්, දවස් ගානක්, මාස ගානක්, අවුරුදු ගානක් තිස්සෙ හදපු ඒ සැලැස්ම ඇතිවෙන්න නැති වෙන්න ගතවෙන්නෙ බොහොම සුළු කාලයක්.

ජීවිතේ අවිනිශ්චිත බව ගැනනම් ඉතින් කියලා නිම කරන්න බෑ. හොඳට හිතලා බැලුවොත් ඉතින් හෙටක් තියෙයිද නැද්ද කියලාවත් විශ්වාසයක් නැති ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. හෙට කරන්නම් කියලා වැඩක් ඉතුරු කරලා එන හැම වෙලේම මට හිතෙන්නෙ ඒ වැඩේ කරගන්න හෙට පුළුවන්වෙයිද කියලායි. හෙට මොනා වෙයිද කියලා ඇත්තට අපි කොහොමද විශ්වාසයෙන් කියන්නෙ. අත්වැරැද්දකට, අඩුපාඩුවකට ඉඩ නැති මේ තරඟකාරී සමාජයේ සමහර මිනිස්සු හැසිරෙන විදිය දැක්කහම හිතෙනවා මේ මිනිස්සු සදාකාලෙටම ජීවත් වෙන්න හිතාගෙන ආපු අයද කියලා. ගොඩක් දෙනෙකුට තණ්හාව, සමාජ තත්ත්වය, බලය, ඪනය වගේ දේවල් නිසා අනිත් අය වගේම තමනුත් කවදාහරි මැරෙන බව අමතක වෙලා. මම මේ කතා කරන්නෙ බලවත් නමින් ප්‍රසිද්ධ පුද්ගලයො ගැන නෙමේ. අපි අතර ජීවත් වෙන අපිට හමුවෙන ගොඩක් දෙනා ගැන. එයාලා හැසිරෙන විදිය බලවත් කියලා ප්‍රසිද්ධ අයටත් වඩා අන්තයි ගොඩක් වෙලාවට. හැමදේටම මුල වෙලා තියෙන්නේ ආත්මාර්ථය සහ තණ්හාව කියලයි මටනම් හිතෙන්නේ.

අපි මැරෙන මිනිස්සු කියන එක අමතක කරලා ජීවත් වීම සුදුසු නෑ මගේ දැක්මේ හැටියට. මම කියන්නේ ජීවිතේ කරන්න තියන හැම දෙයක්ම අතඇරලා දාලා මැරෙනකම් බලාගෙන ඉන්න කියලා නෙමෙයි. හෙට මැරුණත් ජීවිතේ සතුටින් සැනසීමෙන් කාටවත් කරදරයක් වෙන්නෙ නැති විදියට ගෙවන්න කියලයි. අර සින්දුවකුත් තියෙන්නේ “හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” කියලා. ඒක අහලා ජොලි කරන්න ගන්න නම් එපා හැබැයි. 😛 ජොලියත් හොඳ වෙන්නෙ ගානකට තිබ්බොත් නෙ. ජොලි වැඩි වුණොත් දුක් වෙන්න වෙනවා ඉතින්. 🙂 තවත් කතාවක් තියනවා. ඒක නම් කවුරු මුලුන් කියපු එකක්ද කියලා දන්නේ නෑ. ඒත් ඒක මම නිතර කියන්න පුරුදු වුණ කතාවක්. “ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී” කියලා තමයි ඒ.  🙂 හෙට ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගෙන හෙටට ඉතුරු කරලා අද සතුට නැති කරගන්නවාට වඩා අද දවසෙ පුළුවන් තරම් සතුටින් ඉඳලා හෙට දවසටත් ඒ සතුට ඉතුරු කරගන්න එකයි වඩා හොඳ කියලයි මම හිතන්නේ. ලොකු බලාපොරොත්තු හිතේ පුරවගෙන ඉන්නවාට වඩා සරලව ජීවිතේ දිහා බැලුවොත් අපි හැමෝගෙම ජීවිත මීට වඩා ලස්සන වෙයි කියලා හිතෙනවා.

එහෙනම් ඉතින් අදට සටහන නිමා කරන්නයි අදහස. මේ ගැන තව කතා කරන්න පුළුවන්. ඒත් වෙලා නෑ. ආයෙත් දවසක විනිශ්චිත ජීවිතේ ගැන කතාකරන්නම්. එහෙනම්, ආයෙත් සටහනකින් හමුවෙමු. 🙂

දොළොස්වන සටහන – අවිනිශ්චිත හෙට දවස..

සටහනක් ලියන්න බොහොම පොඩි වෙලාවක් ලැබුණු සෙනසුරාදා හවස් වරුවෙ සුපුරුදු විදියට සටහනක් ලියන්නයි මේ හදන්නෙ. කලින් සටහනට ප්රසතිචාර දක්වපු හැමෝටම ස්තූතියි කියන ගමන් මේ සටහන පටන් ගන්නම්.

පහුගිය සතිය ගොඩාක් කාර්ය බහුල වුණා. ඒ අතරේ බෙල්ල ගහලා යන්න තිබුණ වැඩ දෙක තුනක් අනූ නවයෙන් බේරුම් කරගන්නත් පුළුවන් වුණා. 😛 හප්පේ.. වෙලාවකට නම් එපා වෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද. මගේ සහායට ඉන්න සහායිකාවො දෙන්නගෙන් එක්කෙනෙක් ලෙඩ වෙලා පහුගිය සතියෙම ආවෙ නෑ. වැඩ ඔක්කොම කචල් වෙලා. හරි අමාරුවෙන් ඔක්කොම හරියට කරගත්තෙ පහුගිය සතියෙ. පහුගිය සතියෙ කිව්ව උදාසීන ගතිය ටිකක් විතර මඟ ඇරිලා වගේ තේරෙනවා දැන්. ඒත් හිතට නම් තාම හරි නෑ. ඒවා තමා ඉතින් මේ සතියෙ මගේ විස්තර.

ලබන සතියෙත් වැඩ ගොඩක් තියනවා. ඒවා අතරේ අර මම කලින් කිව්වා වගේ බෙල්ල ගහලා යන වැඩත් තියනවා. පරිස්සමින් කරන්න ඕනා ඉතින් හැමදේම. පොඩි අත්වැරදීමක් ලොකු ප්රකශ්නෙකට මුල වෙන්න පුළුවන් බව මම දැන් අත්දැකීමෙන් දන්නවා. ඒ අතරෙ හෙට ගැන අවිනිශ්චිත හැඟීමකුත් තියනවා. හෙට මොනවා වෙයිද කියලා කවුද ඉතින් දන්නෙ. කොහොම වුණත් ඉතින් හෙටින් පටන් ගන්න සතිය දෙවියන්ට බාර කරලා වැඩ පටන් ගත්තම හිතටත් හොඳයිනේ. 🙂

ගිය සතියෙ වගේම අදත් සටහන ලියන්න වාඩිවුණේ මොනාද ලියන්නේ කියලා හරියට අරමුණක් නැතුවයි. ගිය සතියේ විස්තර කියපු අර මගේ ඥාති සහෝදරයා හොඳින් ඉන්නවා දැන්. පුළුවන් වෙලාවට කතාකරනවා. ඒක ඉතින් සහනයක්. අද තමයි ඉතින් ඔහු එක්ක ටිකක් වෙලා කතාකරන්න මට නිදහසක් ලැබුණේ. ඒ ගැන සතුටුයි. ගිය දවසෙම එන්න හිතුණත් ඉඳලා බලනවා කියලා හිතාගෙන ඉන්නවා කියලා ඔහු කියනවා. එහෙම කතා කරද්දි ඔහු කියපු එක දෙයක් නිසා අපිට දුක හිතුණා හොඳටම. ඔහු කියනවා, ” රෑට ගෙදර අයයි යාළුවොයි ඔක්කොම හීනෙන් දැකලා සන්තෝසෙන් උදේ නැඟිටිනකොට පිට අයව දැක්කම ඔක්කොම දාලා එන්න හිතෙනවා.. එපා වෙනවා..” කියලා. එහෙම කියනකොට හිතෙනවා ඕනා එකක් වෙන්න කියලා ඒ ළමයාට ආපහු එන්න කියන්න.

එදා අරමුණක් නැතුව ලියන්න ගිහින් ගොඩක් ලිව්වාට අද නම් එච්චර ලියවෙන එකක් නෑ වගේ හිතෙන්නෙ. ඊයෙ තිබුණ Derana Music Video Awards සම්මාන උත්සවයේදි මගේ යාළුවො දෙන්නෙකුටම සම්මාන ලැබිලා තිබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. කළින් වතාවෙ නම් ඒ වැඩසටහන අවසන් වෙනකම් බැලුවත් ඊයේ ඒක බලන්න තරම් හිතේ ගතියක් තිබ්බේ නෑ. ඉතින් මේ දෙන්නගෙන් අන්තර්ජාලයෙන් අඳුනගත්ත කෙනා ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් නෑ. මොකද මම අඳුනගත්ත කාලේ ඉඳන්ම එයා Music video direct කළා.

ඒත් මම පොඩි කාලේ ඉඳන් දන්න කෙනා එහෙම නෙමෙයි. ඒ කාලෙ ඉඳන් වේදිකා හා වීදි නාට්ය වලට රඟපෑමෙන් දායක වුණ ඔහු කවදාහරි නළුවෙක් වෙයි කියලා මිසක් music video එකක් direct කරයි කියලා නම් මම කවදාවත් හිතුවෙ නෑ. ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 2, 3කට පස්සේ රූපවාහිනියෙන් ඔහුගේ රඟපෑම් දැකගන්න පුළුවන් වුණාට පස්සේ තමයි අපි හිතුවේ ඔහුට අයිති තැනට ඔහු ගිහිල්ලා කියලා. අපි කිව්වේ මමයි අම්මයි. ඔහු අම්මාගේ ගෝලයෙක්. ඒ කිව්වෙ අම්මාගේ පංතියේ හිටපු සිසුවෙක්. ඊයෙ අම්මා සම්මාන රාත්රිලය ඉවර වෙනකම් බලලා තිබුණා. මම උදේ නැඟිටපු ගමන් අම්මා කිව්වේ ඔහුගේ සම්මානය ගැන. තමන්ගේ ගෝලයෙක් ඒ වගේ සාර්ථකත්වයක් ලබාගත්ත එක ගැන අම්මා ගොඩක් සතුටින් හිටියේ. ඒ නිසා ඔහු සමඟ සම්බන්ධතා තිබූ facebook හරහා අම්මාත් මමත් ඔහුට සුභ පැතුවා. ඔහු ගැන විස්තර ලියපු මේ සටහනෙනුත් ඔහුට සුභ පතන්න මම කැමතියි. 🙂

අද සටහන ලියන්න ගන්නකොට මම කියපු දේ ඇත්ත වෙන්න හදන්නෙ. ඒ කියන්නෙ අද සටහන වෙනදා තරම් දිග නෑ කියන එක. ඉතින් කොහොමහරි අද සටහනත් ඉවරයිනෙ. එහෙනම් තවත් සටහනකින් හමුවෙමු.

Previous Older Entries